කොරෝනා වසංගතය මැඩලීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, හමුදාව හා පොලිසියේ කාර්යභාරය සාර්ථකයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හමුදාව සහ පොලීසිය අපූරු කාර්ය භාරයක් ඉටු කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ වියොන් නිවුස් රූපවාහිනී නාලිකාව සමඟ පැවැත් වූ සජීවී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර සඳහන් කරයි. එසේම හමුදාවත්, පොලීසියත්, පුද්ගලික අංශයත් සහයෝගයෙන් වැඩ කරන බවත් ඒ පිළිබඳ සලකා බැලීමේදී තත්ත්වය සාර්ථක බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය

ඒ සම්මුඛ සාකච්ඡාව මෙසේය. .

නිවේදිකාව – ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් වසංගතයට රෝගීන් 219 ක් හසු වී තිබෙනවා කිහිප දෙනෙක් මියගොස් රටේ ආර්ථිකය පීඩනයකට ලක් වී තිබෙනවා. පසුගිය වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර නිසා රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. කොරෝනා වෛරසයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සැලැස්ම මොන විදියටද ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ ප්‍රශ්නය විසැඳීමට ප්‍රමාණවත් තරම් කටයුතු කරනවා ද?

වික්‍රමසිංහ මහතා – ඇත්තටම රට වසා දැමීම සාර්ථකයි. ආණ්ඩුව එය මනාව සිදු කරනවා. මම කියන්න ඕනෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපූරු කාර්ය භාරයක් ඉටු කරනවා. ඒ වගේම තමයි හමුදාවත්, පොලීසියත්, පුද්ගලික අංශයත් මිනිස්සු සහයෝගයෙන් වැඩ කරනවා. ඒ අතින් තත්ත්වය සාර්ථකයි. ඒත් ආණ්ඩුවට වැරැදුණ තැන් තියෙනවා. ඔවුන් කළින් උපකරණ ගෙන්වා ගත්තේ නැහැ. පරීක්ෂණ උපකරණ, මුහුණු ආවරණ, වෙන්ටිලේටර ලබා ගැනීමේ දී අපගේ ප්‍රමාදයක් සිදු වුණා. මම හිතනවා දැන් නම් ඒවා ඇති තරම් තිබෙනවා කියලා. මොකද අපට මේ වසංගතය සමඟ කාලයක් ජීවත් වෙන්න සිදු වෙනවා. ජර්මනිය, දකුණු කොරියාව වගේ දිගටම පරීක්ෂණ සිදු කරන්න වෙනවා. ඒ අවස්ථාවේ අප සූදානමින් නොසිටි නිසා පූර්ණ වශයෙන් වසා දැම්මත් අපට ඉදිරියේ දී පාර්ශ්වීය වශයෙන් විවෘත කරන්න සිදු වෙනවා. එසේ කරමින් ආර්ථිකය නැවත පණ ගැන්විය යුතුයි.