කොරෝනා රෝගීන් ප්‍රමාණය 50දක්වා ඉහළ යයි.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද(18) දිනයේ තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගත් බව අමාත්‍යවරිය සඳහන් කළාය.

කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පල කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ මෙම රෝගීන්ගෙන් බොහෝ පිරිසක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බවයි.

ඒ අනුව වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 50 ක් බව අනාවරණය වී තිබේ.

මේ අතර රෝගය ආසාදනය වු බවට සැක කෙරෙන රෝගීන් දිවයින පුරා රෝහල්වල 212 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරිය පවසයි.

මේ අතර එම මාධ්‍යය හමුවට එක්වූ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලබන සියලු වන්දනාකරුවන් නිරෝධායනය කටයුතු සඳහා යොමු කරන බවයි.