කොරෝනා පිළිබඳ අසත්‍ය ප්‍රචාර එපා.
රජය සහ පොලීසිය ජනතාවට දැනුම්දෙයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇතැයි රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත.

මේ අතර,  එම පුද්ගලයාගේ පුත්‍රයාට රෝගය වැළඳී ඇතැයි පැවසෙන කට කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ආසාදිත පුද්ගලයා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළදී ම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.ඔහු ඉතාලි බස කතා කරන මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙකි.

ඔහු අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව් දෙනෙකුටය.3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදාය.

මේ අතර අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා වෙත නිකුත්කරන්නන් සඳහා නීතිමය පියවර ගැනීමට සිදුවන බව පොලීසිය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පවසා ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් පොලීසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම නිවේදනයෙන් දැක්වෙයි.

එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.

ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඔවුන්ගේ නිවසේ සිටම නිරෝධායනය කිරීමේ කටයුතු සිදු කරන බවත් පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.