කොරෝනා ආසාදිතයින් ගැවසුණු ගම්මානවලට ආරක්ෂාව තර කරයි.

කොරෝනා රෝගීන් වාර්තා වූ ගම්මාන තුනක් තවදුරටත් හුදෙකලා කොට තැබීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
කොරෝනා රෝගීන් වාර්තා වූ තවත් ගම්මාන කිහිපයකට ඊයේ (31) දැඩි සීමා පනවනු ලැබීය.

එමෙන්ම ඇතුළුවීම සහ පිටවීම තහනම් කෙරුණු අකුරණ හා අටලුගම යන ගම්මානවල ආරක්ෂාව තවදුරටත් දැඩි කොට තිබේ.

කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ  මහනුවර අකුරණ හා බණ්ඩාරගම අටළුගම  යන ගම්මානවලට ඇතුළු විම හා  පිටවිම සම්පුර්ණයෙන්ම තහනම් කොට අදට දින තුනකි.

බණ්ඩාරගම අටුලුගම ගම්මානයේ ග්‍රාමසේවා වසම් 7  පවුල් 3057කට අයත් පුද්ගලයින් 15,162 ක් ජීවත් වෙයි. ගම්මානයේ රැඳි සිටින පිරිස් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම  සිදුවෙමින් පවතී

අද වන විට බාහිර සබඳතාවලින් සම්පුර්ණයෙන්ම දුරස් කර ඇති මහනුවර අකුරන ගම්මානයේ රැඳි සිටින පවුල් ගණන 997කිඑම පවුල්වලට අයත් පුද්ගලයින් ගණන 4267 ක් වෙති.ගම්මානයට ඇතුළුවන ප්‍රධාන මාර්ග වන තෙලඹුගහවත්ත මාර්ගය මෙන්ම තවත් අතුරු මාර්ගයක් මාර්ග බාධක යොදා වසා දමා ඇත.කෙසේ වෙතත් ගම්මුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු සොයා ගත් පුත්තලම කඩුමයම්කුලමටද  ඇතුළු වන සියලු මාර්ග  සම්පුර්ණයෙන්ම වසා දැමිම පොලිසිය කටයුතු කොට තිබේ.

මේ අතර පසුගියදා යාපනයේ යාඥා මෙහෙයකට සහභාගි වූ කෝරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ විදේශීය දේවගැතිවරයා හැටන් දික්ඔය දරවල ප්‍රදේශයට ගොස් යාඥා මෙහෙයක් සිදු කොට බඩු භාණ්ඩ බෙදාදිමක් සිදු කර ඇති බව අද තහවුරු කරගෙන තිබේ.

ඒ හේතුවෙන් හැටන් දික්ඔය දරවල පවුල් 200 පමණ ජිවත්වන ප්‍රදේශයක් අද පස්වරුවේ දැඩි නිරෝධායනයට ලක්කිරීමට හැටන් දික්ඔය නගර සභාව ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිසිය තීරණය කළේය.

මෙලෙස දිනෙන් දින රෝගය පැතිරයාමේ අවධානම එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.ඇතැම් පිරිස් රෝගය සහ එහි ඇති ස්වභාවය හරි හැටි තේරුම් නොගනිමින් නීති කඩ කරමින් නිදහසේ ගත කිරීමට උත්සහ ගනිති.
මේ හේතුව නිසාම ආරක්ෂක අංශ ඇඳිරිනීතිය කඩ කිරීම් සඳහා නීතිය අකුරටම පිළිපදිමින් සිටිති.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට ඊයේ(31)දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 7931 වන අතර වාහන 1981 වන බවද පොලීසිය සඳහන් කරයි.