ක්‍රීඩා ඇමති, ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉල්ලා අස්වන්නයයි දන්වයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ඔවුන්ගේ ධූර වලින් ඉවත්වන්නයයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.

ඉන් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.

ක්‍රිකට් පරිපාලනය හා ක්‍රිකට් දෙකක් බව පසුගියදා අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ ක්‍රිකට්වල අනාගතය වසර 2ක දැක්මක් අනුව ක්‍රියාත්මක කරන බව ද
ඔහු පසුගියදා බදුල්ලේදී පැවසීය.

ක්‍රිකට් ආයතනයෙන් කිහිප දෙනෙක් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳ නම කැත කරනොගත් ක්‍රීඩකයින් සහභාගිත්වයෙන් වසර 2ක් සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.