ඖෂධ ලබාදීමට විශේෂ වැඩසටහන්.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවල දී ෆාමසිවලින් ඖෂධ ලබාගැනීමට අවශ්‍ය රෝගීන්ට බෙහෙත් වට්ටෝරුව ජංගම දුරකථනයේ යෙදවුම් හරහා ඇණවුම් කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකස් කර තිබේ.

වට්ස් ඇප්, වයිබර්, ඊමෝ, තාක්ෂණය ඔස්සේ බෙහෙත් වට්ටෝරුව අදාළ ෆාමසි වෙත යොමුකළ හැකියි.

එම බෙහෙත් වට්ටෝරුවට අදාළ ඖෂධ ෆාමසිය මගින් නිවෙස් වෙත බෙදාහැරිමට අවස්ථාව ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

යම් රෝගී තැනැත්තෙකුට ජංගම දුරකථනය මගින් ෆාමසි සම්බන්ධ කරගැනීමට නොහැකි අවස්ථාවල දී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇමතීම මගින් අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකිය.

මේ අතර රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සදහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් ද සකස් කර තිබේ.

එම ඖෂධ ලබාගැනීමට අදාළ රෝගියාගේ දුරකථන අංකය සහ රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය ලබාදිය යුතු වෙයි.

රෝහල වෙත තොරතුරු සැපයීමේ දී ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියාගේ හෝ ග්‍රාම නිලධාරියාගේ සහය ලබාගැනීම සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

තමන් ඖෂධ ලබාගන්නා රෝහලට ඇමතුමක් ලබාදිමෙන් තොරතුරු යාවත්කාලීන කළ හැකි බවද ඔහු වැඩිදුරටත්  සඳහන් කළේය.

ඉන් පසුව රෝහල් කාර්යය මණ්ඩලය එම පුද්ගලයාට අදාළ ඖෂධ පැකැට්ටුව ලියුම් බෙදන නිලධාරියා මගින් ගෙනවිත් දීමට නියමිතය.