එජාපයේ නායකයා කවුද ? තීන්දුව සිකුරාදා

මෙවර මහ මැතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 10 දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණි.

එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවය.

ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය කාට හිමිවන්නේදැයි ඊයේ (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පක්ෂ නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී තිබුණි.
එම නාම යෝජනාව එළැඹෙන සිකුරාදා කෘත්‍යාධීකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද නොහැකි වූ බව පක්ෂ මහ ලේකම්වරයා පැවසීය.

මේ අතර නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන යන මහත්වරුන් මෙන්ම පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ නම ද යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.
නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන සිකුරාදා ප්‍රකාශයට පත්කරන බව
ඔහු වැඩිදුරටත් පවසා සිටී.