එජාපයේ නව නායකයා තේරීම කල් යයි.

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා සැප්තැම්බර් මස මුල් සතියේදී තෝරා පත් කර ගැනීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (25) තීරණය කළේය. පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය. අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර, පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නව නායකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩලය සැප්තැම්බර් මස රැස් වී තෝරා ගැනීමට එහිදී තීරණය විය.

නව නායකත්වය සඳහා හිටපු කථානායක කරු ජයසූරිය මහතා තෝරා පත් කර ගත යුතු බවට පක්ෂයේ උප නායක රවි කරුණානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහත්වරුන් එහිදී යෝජනා කර ඇති අතර, පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හෝ ජාතික විධායක සභාවේ නැති අයකු පක්ෂයේ තනතුරක් සඳහා තෝරා පත් කර ගත නොහැකි බවත්, කරු ජයසූරිය මහතා එහි සාමාජිකත්වය නොදරන හෙයින් පක්ෂයේ තනතුරක් සඳහා තෝරා පත් කර ගත නොහැකි බවත් එහිදී කරුණු ඉදිරිපත් විය.