එංගලන්ත ක්‍රීඩකයාගෙන් කොවිඩ් නව ප්‍රභේදය කිසිවකුටවත් ගොස් නෑ.

කොවිඩ් නව ප්‍රභේදය වැලඳුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයාගෙන් මෙරට කිසිවකුටත් ආසාදනය වීමක් සිදුව නැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

අදාළ ආසාදිත පුද්ගලයාට ප්‍රතිකාර කිරීම් සහ වෙන් කර තැබීම නිසි පරිදි වන බැවින් එම අවස්ථාවේදීවත් මේ වයිරසය මෙරට සමාජයට ඇතුළු වීමේ අවදානමක් නැති බවද හෙතෙම කීවේය.

‘පසුගිය සැප්තැම්බර් මාසයේ සිට කොවිඩ් -19 නව ප්‍රභේදයක් හඳුනා ගත්තා. එංගලන්තයේ සිට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නතර කිරීමට පියවර ගැනුණේ එය අපේ රටටත් ඇතුළු වීමේ අවදානම තිබුණ නිසා. එහෙත් යම් කිසි පිරිසක් ඒ වෙනකොටත් අපේ රටට පැමිණ තිබුණා. මේ අවස්ථාව වන විට බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට ක්‍රිකට් සංචාරයක් සඳහා පැමිණි කණ්ඩායමේ එක් පුද්ගලයකුට එම වයිරසය ආසාදනය වී තිබුණා. එහෙත් ඔහු අපේ රටේ අයත් සමඟ කිසිම ආකාරයකින් ගැටී නැහැ. ඒ නිසා එම වයිරසය සමාජයට ඇතුළු වීමක් මේ අවස්ථාවේ අපි දකින්නේ නැහැ. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සහ වෙන් කර තබා ගැනීම නිසි පරිදි සිදු වන නිසා ඒ අවස්ථාවේදීවත් මෙය ඇතුළු වීමේ හෝ තවත් කෙනකුට ආසාදනය වීමේ අවදානම ඇත්තෙම නැහැ‘ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.