ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා දෙන්න.ජනාධිපති කියයි.

වැටුණු ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින ලෙසත් ඒ සඳහා නිවැරදි උපාය කුමක්දැයි පවසන ලෙසත් අද දින ජනාධිපති කාර්‍යාලයේදී මහබැංකු ප්‍රධානීන් හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය.
රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දිය නොහැකි බවත්, අප මුහුණ පා ඇත්තෙ ගෝලීය අර්බුදයකට බවත්, වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට බවත් ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙන මොහොතක අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැති බවටත් අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු ප්‍රමාදයකින් තොරව මට දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලැබී නැති බවත් පැවසූ ජනපතිවරයා එසේ කිරීමට හේතුව කුමක්දැයි පැහැදිළි කරන ලෙසද ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ප්‍රශ්න කළේය.
ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල මෙන්ම කුඩා රටවලද මහබැංකු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ක්‍රමවේද ඉදිරිපත් කර තිබෙන බවත් එහෙත් මෙරට මහබැංකුව ආර්ථික පුනරුත්ථාපනය සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බවත් පැවසූ ජනපතිවරයා විසින්
” පසුගිය වසර කිහිපය තුළ ආයතන රැසකට ඔවුන් සැපයූ සේවා සහ නිෂ්පාදන වෙනුවෙන් රජය විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව ඇත. ඒවා ඇපකර ලෙස තබාගෙන රුපියල් බිලියන 150ක් මූල්‍ය ප්‍රතිපාදන බැංකු වෙත ලබාදීමට මා කළ යෝජනාවද මහබැංකුව පැහැර හැර තිබේ. මේ නිසා සිදුවන ආර්ථික පසුබැස්ම පිළිබඳ චෝදනාව රජය මත පැටවෙන බවද පවසා සිටි අතර මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන අප්‍රසාදය පළ කරන බවද කියා සිටියේය.
ජනතාව මට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය.

සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළ බවත් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී තිබෙන අතර එය ඉටුකරනු වෙනුවට මහබැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව පැවසු ජනාධිපතිවරයා ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ යෝජනාවට අනුමැතිය දෙන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය. එය අදම කළයුතු බවද අවධාරණය කලේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු සහ මහබැංකු නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.