ඇඳිරිනීතිය කඩකරන අය වරෙන්තු නැතුව අත්අඩංගුවට

ඇඳිරිනීතිය බල පවත්වන සමයේ වගකීමෙන් කටයුතුකොට ආරක්ෂක අංශ සඳහා උපරිම දායකත්වය ලබාදෙනලෙස පොලිස් මුලස්ථානය ජනතාවට දැනුම් දෙයි.නීතිය පිළිපදිමින් අපහසුතාවයට පත් නොවෙමින් ආරක්ෂිතව කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටී.

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව එම මූලස්ථානය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැරදිකරුවන් වුවහොත්සිර දඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇත.

මීටඅමතරව ඔවුන් අවශ්‍යතාවය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍යනිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමටද නියමිතය.

මේ අතර පොලිසිය භාරයට ගනු ලබන වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් අදාල පොලිස් ස්ථානවල රඳවා තැබීමට ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේවැඩිදුරටත් සඳහන් වේ.