ආසන ගණනට මගීන් ප්‍රවාහණය නීතියක් කරනවා-අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ගුණාත්මක බවින් ඉහළ පොදු ප්‍රවාහණ සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට උපදෙස් දී ඇති බවත් සඳහා අවශ්‍ය පියවර සකසමින් සිටින බවත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (25) පස්වරුවේ රත්මලාන ධර්මපාලාරාමයේ දී ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලැබූ අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා සහ උන්වහන්සේගේ සුවදුක් බැලීම පිණිස ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

රටේ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ද ගමන් ගන්නා මගීන් ප්‍රවාහණයේ දී නිසි වැඩ පිලිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුදල් ගෙවා බස් රථවල හා දුම්රියේ ගමන් කරන මගීන් තමන්ට මගියෙක් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ගැන අවබෝධයක් නොමැති බවත් එම නිසා සෑම විටම බස් රථ තුළ මගීන් අසරණභාවයට පත්වීම හැර ඔවුන්ට ලැබුනු පහසුකමක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරතත් පවසයි.

ප්‍රවාහණසේවා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ඉදිරි කාලය තුළ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගීන් ප්‍රවාහණයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම නීතියක් වශයෙන් සම්මත කර අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙන බවද හෙතෙම පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් දී ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා සෑම මගියෙකුටම ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවයි.

නමුත් පසුගිය කාලය තුළ කිසි විටෙක මගින්ගේ එම අයිතිය තහවුරු කිරීම සඳහා කිසිදු රජයක් පියවර ගෙන නොමැති බවත් වත්මන් රජය යටතේ මගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තම අරමුණ බවත් කියා සිටියේය.