අවසන් විදුලිය බිල වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාවක්.

පසුගිය මාස කිහිපය සඳහා නිකුත් කළ විදුලි බිල්පත්වල යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ ද යන්න පිළිබඳ ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරුණු විමසා තිබේ.

ඔහු මේ පිළිබඳ ව අද පැවති කැබිනට් රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ් අනුව අද දින 17 පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දි කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ කොවිඩ් 19න් පසුව ඇති වු තත්ත්වය නිසා නිවැරදිවම බිල්පත වන්නේ අවසානයට නිකුත් කරන ලද බිල්පත බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයින්හට ලබා දෙන සහන ඒ්කක කප්පාදුවක් කිසි සේත්ම කර නොමැති අතර ඒකක 30 සහන ඒ්කක ලබා දීම එලෙසින්ම ක්‍රියාත්මක බවත් මාස දෙකක බිල්පතක් එක්වර ලබා දීමේ දී එය ඒ්කක 60ක් වශයෙන් සළකා කටයුතු කර තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

නමුත් කොවිඩ් 19 ඇදිරි නීතිය බලපැවැත්වු කාල සීමාව තුළ ගෘහස්ථ විදුලි පාරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ පවුලේ සියලු සාමාජිකයින් නිවස තුළ රැඳි සිටි බැවින් විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති බැවින් බවද ඔහු කියා සිටියේය.

කිසියම් අයෙකුට පෙබරවාරි මාසයේ බිලට වඩා වැඩි අගයක් සහිත බිලක් ලැබි තිබෙන්නේ එබැවින් වන අතර එම බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසන ලද බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එමනිසා විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළ ද කිසිසේත්ම කිසිදු නිවෙසක විදුලිය විසන්ධි කිරීමක් සිදු කෙරෙන්නේ නැත. මෙම කාරණය සැලකිල්ලට ගනිමින් විදුලි බිල්පත එක්වර නොගෙව්වත් කිසිදු අයුරකින් හෝ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

කොවිඩ් 19 නිසා බොහෝ ව්‍යාපාරික ආයතනවල ආදායම් තත්ත්වය පහළ ගොස් ඇති බැවින් විදුලි බිල්පත් ගෙවීමට පවා ඇතැම් අයට ආදායම් මාර්ග නොමැත. එමනිසා කිසිදු විදුලි විසන්ධි කිරිමක් සිදු නොකරන නමුත් තමන් පාරිභෝජනය කළ විදුලියට අදාල බිල්පත් ගෙවීම රටේ සියලු පුරවැසියන්ගේ වගකීමක් බව ද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දුන්නේය.