අවධානම් ප්‍රදේශවලට ඇඳිරිනීතිය දිගටම.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළම අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව රජය දැනුම් දෙයි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එම ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටීයි.
මේ මොහොතේ රාජයේ සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස එම අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. එම ගම්මානවලට කවරකුට හෝ ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.