අලුතින් ලැබෙන ණය සහන

කිරි ගොවින් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) දින උපදෙස් ලබා දී තිබේ.

අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා  මේ බව අවධාරණය කළේය.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට 4%ක පොලියට රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

අයවැය යෝජනා අනුව දැනට ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේ දී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැහැදිලි කළේය.

ඒ අනුව රජයේ සේවකයන්ට දෙනු ලබන සහ දැනට ලබා ගත් නිවාස ණය මුදල් 7%ක පොලී අනුපාතය යටතේ  ක්‍රියාත්මක වේ.

මෙම සහනය මත රජයේ සේවකයකුගේ මාසික වැටුප් වැඩිවීම රු. 2500-3000ක් අතර වන බව එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේය.

රජයේ සහ රජයේ නොවන සේවකයන් වෙනුවෙන් විදුලි සූර්ය පැනල සිය වහලයට සවි කිරීම සඳහා දැනට 4%ක පොලී අනුපාතයට රුපියල් ලක්ෂ 08ක් දක්වා ණය මුදල් ලබා දීම සිදු වේ.

මෙම කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනම් කරන්නැයි ද අගමැතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය.  එමගින් බීර නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණ වශයෙන් වී මිල දී ගැනීම සීමා කළ හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ක්‍රියාත්මක මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රම සඳහා 6.25%ක පොලියට ණය පහසුකම් ලබාදීම ආරම්භ වී තිබේ. විදුලිය ලබා ගැනීම ඇතුලු සමෘද්ධි සමාජිකයන් වෙනුවෙන් පිරිනමන සහන ණය මුදල් කඩිනමින් ලබා දීම පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයා ගේ අවධානය යොමු කළේය

විදේශ ණය සඳහා යොමු වීම වෙනුවට විදේශ ආයෝජන සම්බන්ධයෙන් රජය මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව හෙතම අවධාරණය කළේය.

ශ්‍රි ලංකා රේගුවේ ආනයන අංශය ඔන්ලයින් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතා එය ගැටලු අවම කර ගැනීමට උපකාර වූ බව ද පෙන්වා දුන්නේය. එමෙන් ම දිනකට රේගුවට පැමිණෙන වාප්පු  ලිපිකරුවන් සංඛ්‍යාව සියයට 60කින් පමණ අඩුකර ගැනීමට එය උපකාරි වූ බව ද කියා සිටියේය.

මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමයට බදු ගෙවීම අද දිනයේ සිට ක්‍රියාත්මක අතර ඊට බැංක 05ක එකඟත්වය හිමි වූ බව ද එම නිලධාරීහු අගමැතිවරයා වෙත දැනුම් දුන්හ. 

බැංකුවලට ණය මුදල් හා ලීසිං මුදල් කලින් පියවීමේ දී 3%ක ගාස්තුවක් ගෙවීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ගෙවීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු යැයි ද මෙහි දී යෝජනා කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. අටිගල මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යංශයේ සියලු ම ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.