අධිවේගී මාර්ග තනන්න,රථවාහන තදබදය අවම කරන්න ජනාධිපතිගෙන් වැඩපිළිවෙලක්

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට පසුගියදා  උපදෙස් ලබා දුන්නේය.

පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිමකර විවෘත කළ යුතු බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු ව්‍යාපෘති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේය.

ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර, සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නැයි උපදෙස් දුන්නේය.

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුය. මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම ගැන මෙහි දී සාකච්ඡා කෙරිණ.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරෙහි ද අවධානය යොමු විය යුතුයි. ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේ දී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවට උපදෙස් දුන්නේය.