අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතු බවත් රටට, ආර්ථිකයට මෙන්ම උපාධිලාභීයාට ද ඉන් ප්‍රතිලාභ අත්විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුනි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදුනොවීම වත්මන් රැකියා වෙළෙඳපොළ ගැටළුවලට හේතු වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතින බවත් එහෙත් ඊට අවශ්‍ය ශ්‍රම බලකාය අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකර නැත බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

ජාති, ආගම් බේදයකින් තොරව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් දීම අනිවාර්යය වන අතර, රටට ඔබින ඵලදායී පුරවැසියෙකු බිහි කිරීම  රජයේ වගකීමකැයි ජනාධිපතිවරයා පැවසීය.

දැනටමත් කෙටුම්පත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින්  සංවාදයට යොමු කර ක්‍රියාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.