අගමැති නියෝගයෙන් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් ලැබෙයි

ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 80ක සහතික මිලක් නියම කිරීමට අග්‍රාමාත්‍ය  සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝගකොට තිබේ.

මින්පෙර ලොකු ලූනු කිලෝවක් ගොවියකුගෙන් මිලට ගනු ලැබුවේ රු. 60.00ක මිලකටය.

මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයට අනුව මින් ඉදිරියට ලොකු ලූණු කිලෝ 1ක් සඳහා රුපියල් 80.00ක මිලක් නියමවීම නිසා දේශීය ලොකු ලූනු ගොවියන්ට විශාල වාසියක් අත්වන බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ලොකු ලූනු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවුණි. ඒ හේතුවෙන් ඔවුන් ලොකු ලූනු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු බව අමාත්‍යාංශය පවසයි. මේ නිසා ලොකු ලූනු අස්වැන්න පහත වැටුණු අතර, රටේ අවශ්‍යතාවට සරිලන ලොකු ලූනු පිටරටින් ගෙන්වීම සඳහා විශාල විදේශ විනිමයක් වැයකිරීමට රජයට සිදුවිය.මෙම මිලදී ගැනීමේ ස්ථාවර මිල යටතේ ලොකු ලූනු වගාකරුවන් නැවතත් තම සුපුරුදු වගා කටයුතුවල නියැලෙන අතර සහනදායි මිලට පාරිභෝගිකයන් හට ලූනු මිලට ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.