දශක තුනක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය පත් කළ මානුෂීය මෙහෙයුම ජයගෙන වසර 12ක් සපිරේ.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විරෝධාර රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව අභීත රණවිරුවන් දියත්කළ මානුෂීය මෙහෙයුම නිමාවට පත්වුණා. මෙම විශාලතම මානුෂීය මෙහෙයුම අවසානයේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එම ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද මෙරට විරොධාර ආරක්ෂක හමුදා වෙත හිමිවුණා.

ඉතිහාසය ආවර්ජනය කිරීමේදී 1975 ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලුර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකයයි. අනතුරුව, 1983 වසරේ දී එල්.ටී.ටී.ඊ.ය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් ඇරඹී ශ්‍රී ලංකාව පුරා කළු ජූලිය පැතිර යාමත් සමග ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි සමගින් තවත් කළු පැල්ලමක් මෙරට ඉතිහාසයට එක්වුණා.

අනතුරුව ගෙවුණු දශක දෙකක කාලය තුළ, මෙරට ආගමික නායකයින්, රාජ්‍ය‍ නායකයින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන් ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදය ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වුණා. මරාගෙන මැරෙන් මිනිස් බෝම්බ ප්‍රහාර ඇතුළු තවත් කුරිරු සහ ම්ලේච්ඡ උපක්‍රම හරහා රට පුරා අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත දහස් ගණනක් බිලිගැනිම හමුවේ එල්.ටී.ටී.ඊය ලොව පුරා භීතියක් ඇතිකළා. ඒ අතර, උතුරු නැගෙනහිර ඔවුනට අවනත නොවූ අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් ද ඇතුළත් වුණා.

2001 වසරේ දී ශ්‍රී ලංකා රජය සමඟ සටන් විරාම ගිවිසුමකට පැමිණි එල්.ටී.ටී.ඊ.ය, දිගින් දගටම එය කඩ කරමින් සිය ම්ලේච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමීම එහි උච්ඡතම අවස්ථාව බවට පත් වුණා. ඒ අනුව, නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මානුෂීය මෙහෙයුම, සිව් වන ඊළාම් යුද්ධයේ ආරම්භය බවට පත් වුණා. මානුෂීය මෙහෙයුම අවසානයේ එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එම ග්‍රහණයෙන් මුදාගැනීමට ද ආරක්ෂක හමුදාවලට සිදුවුණා.

එලෙසින්, මීට වසර 12 කට පෙර, 2009 දී විජයග්‍රාහීව අවසන් කළ, ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිවු මානුෂීය මෙහෙයුම සඳහා දේශපාලන නායකත්වය දුන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් යුද මෙහෙයුම් යථාර්ථයක් බවට පත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙසත් වර්තමානයේ කටයුතු කිරීම සුවිශේෂී වෙනවා.

එවකට මානුෂීය මෙහෙයුමේ අවසන් භාගයේ යුද හමුදාවට අභීත නායකත්වයක් ලබාදිමින් එවකට යුදහමුදාපති ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා, යුධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට ෆීල්ඩ් මාෂල්වරයකු ලෙස පත් කරනු ලැබුවා. ඒ, 2015 වසරේදී, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයවූ ප්‍රධානීන් දෙදෙනාදට ද ගෞරවාන්විත ඉහළම නිලයන් සඳහා උසස්වීම් ලබාදීමට, 2019 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළම උසස්වීම වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන තනතුරට රොෂාන් ගුණතිලකට උසස් වීමක් ලබාදුන් අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, නාවික හමුදාවේ ඉහළම ධුරය වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ධුරයට උසස් කරනු ලැබුවා. ඔවුන්, මෙම තනතුරුවලට උසස්වීම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය.

එමෙන්ම, යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් මානුෂීය මෙහෙයුමේ පෙරමුණේ සිටි ජෙනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා ලෙසත් කටයුතු කරනවා. මේ අතර, එවකට යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කළ සරත් ෆොන්සේකා මහතා, වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරනවා.

එමෙන්ම, එවකට සේනාංක භාරව කටයුතු කළ මෙන්ම යුද ජයග්‍රහණය සඳහා සෘජුව දායකත්වය ලබාදුන් ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානීන් ද මේ වනවිටත් මෙරට සිවිල් ජන ජීවිතය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදෙමින් කටයුතු කරනවා.

මානුෂීය මෙහෙයුම අතරවාරයේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ 27,000කට අධික පිරිසක් ජීවිත පුජා කළ අතර තවත් දහස් ගණනක පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා. එසේම, මේ සටනේදී එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් ද 28,000කට අධික පිරිසක් මියගොස් තවත් බොහෝ පිරිසක් ආබාධිතව ඇති බව වාර්තා වෙනවා.

කුරිරු යුද්ධයෙන් මවුබිම මුදාගනු පිණිස ජීවිත පරිත්‍යාගයෙන් සටන්වැදි දැයේ උදාර රණවිරුවන් සිහි කරනු වස්, ශ්‍රී ලංකාවේ ජාතික රණවිරු ස්මාරකය 2008 ජූනි මස 07 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටුවනු ලැබුවා. මවු බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන් 23321 දෙනෙකුගේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන් 1140 දෙනෙකුගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් 426 දෙනෙකුගේ, ශ්‍රී ලංකා පොලිසියේ විරුවන් 2575 දෙනෙකුගේ සහ කාන්තා සෙබලියන් 24 දෙනෙකුගේ වශයෙන් අභීත රණවිරුවන් 27486 දෙනෙකුගේ නාමයන් ජාතික රණවිරු ස්මාරකය අභියස පිහිටුවා ඇති අනුස්මරණ ඵලකවල සඳහන් වෙනවා.

ලොවපුරා පැතිරයන කොවිඩ් 19 වෛරසයෙන් ශ්‍රී ලංකාවාසින් බේරාගැනීම වෙනුවෙන් යුද හමුදාවේ ද සහය ඇතිව සෞඛ්‍ය අංශ දියත් කර ඇති තවත් මානුෂික මෙහෙවරක් මේ වනවිට රටපුරා ක්‍රියාත්මක වෙනවා. එහි එක් පියවරක් ලෙස, සංචරණය සීමා ඇති කර පිරිස් එක් රැස්කිරීම අවහිර කර ඇති මොහොතක, පසුගිය දශකයේ පැවති ආකාරයෙන් 12 වන විජයග්‍රහණයේ සැමරුම අභිමානත්ව පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. වර්ෂ 1975 සිට 2009 මැයි 19 දක්වා පුරා වසර තිහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදී ‍යුද්ධයෙන් ත්‍රස්තවාදීන් පරදා මවුබිමට සාමය උදාකරමින් ලැබූ විජයග්‍රහණ සැමරුම හා සමගාමීව වාර්ෂිකව මැයි මස 19 වන දින පවත්වන රණවිරු අනුස්මරණ උත්සවය, යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් රාජ්‍ය නායකත්වය ප්‍රධාන කොට ගනිමින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට රණවිරු ස්මාරක පරිශ්‍රයේදී වාර්ෂිකව පැවැත්වෙනවා.

දශක තුනක සාපලත් යුද්ධයකින් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදා ගන්නට දිවිදුන්, ආබාධිත වූ සියලු ශ්‍රී ලාංකේය රණවිරුවන්ට ජාතියක් ලෙස අප සදා ණය ගැති වෙනවා.

12 වන යුද ජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් ලංකා නිව්ස් 24/7 විශේෂාංග ලිපියකි.