මිලියන ගණනින් බලන ශ්‍රි ලංකාවේ මොබයිල් ටෙලි හැදුණේ මෙහෙමයි.

කොරෝනා වසංගතය සමයේ ලෝකයේ විවිධ නව නිර්මාණ බිහිවුණා.ඒ නිර්මාණ ලෝකය පුරා ඉතා ඉක්මනින් පැතිරුණා.අද අපි කතා කරන්නේ ශ්‍රි ලංකාවේ කොරෝනා සමයේ බිහිවූ නව නිර්මාණ ක්‍රමවේදයක් පිළිබඳව.සැමියා නම් කෙටි මොබයිල් ටෙලි නාට්‍යය හරහා එළිදුටු මෙම නිර්මාණ ක්‍රමවේදය උපයෝගී කරගනිමින් කළ පළමු නිර්මාණය මිලියන ගණනක් ජනතාවගේ අවධානයට පත්ව තිබුණා.ඉන් පසුව  එම කණ්ඩායම නිමැවූ බිත්තර දෙක නම් නිර්මාණය පළමු නිර්මාණය පරයමින් දින දෙකකදි බිලියනයකය අධික ජනතාවක් නරඹා තිබුණා.ප්‍රවිණ නළු නිළියන් තම තමන් සිටිය නිදවෙස්වල සිට රූගත කිරීමට සහභාගී වූ මෙමෙ නිර්මාණ අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ප්‍රවීණ අධ්‍යක්ෂ කැලුම් පාලිත මහීරත්න විසින්.මේ එම නව නිර්මාණ සම්ප්‍රදායේ සම්ප්‍රාප්තිය පිළිබඳ lanka 247 කැලුම් සමඟ කළ කතා බහක්..

මොකක්ද මේ අලුත් නිර්මාණ අත්හදාබැලීම.

ඇත්තටම අපට අවශ්‍යවෙලා තිබුණා කොරෝනා වසංගතය සමයේ නිවෙස්වලට වෙලා කාලය ගත කරන ශිල්පීන් එක්ක වැඩක් කරන්න.ප්‍රේක්ෂකයා පිළිගන්න ප්‍රේක්ෂකයාට වැඩදායි එකක් කරන්නෙ කොහොමද කියල අපේ කණ්ඩායම කල්පනා කළා.අපි නිතර යාවත්කාලීනවන නව අදහස් දරන කණ්ඩායමක් .ඒ නිසාම අපි සියලුදෙනා එකතුවෙලා මුලින්ම වැඩක් ගැන සැලකිලිමත් සැකිල්ලක් හදා ගත්තා.ඒ වැඩේ තමයි සැමියා හරහා එලියට ආවේ.
මේක ලංකාවේ කළ අලුත්ම අත්හදාබැලීමක්.පිටපත එක තැනක,රූගතකිරීම් ඒ ඒ ශිල්පීන් විසින්ම,සංස්කරණය තව තැනක.මේ ආකාරයෙන් තමයි සැමියා සහ බිත්තර දෙක හැදුණේ.ඇත්තටම අපි එය සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයාට නිදහස් කළා.ප්‍රේක්ෂකයා එය ඉතාමත් හොඳ විදියට වැලඳගත්තා.මිලියන ගණනක් මෙම නිර්මාණ නැරඹීමෙන් එය පැහැදිලි වෙනවා.

මේ ක්‍රමවේදය යටතේ කොරෝනා ප්‍රශ්නය නිමාවෙනකල් පමණද නිර්මාණ බිහිවෙන්නේ.

නැහැ.මෙය අප කලක සිට සැලසුම් කළ ව්‍යාපෘතියක එක් කොටසක්.කොරෝනා සමඟ අපි ව්‍යාපෘතිය ඒ කාලයට අදාල විදියට සකසාගත්තා පමණයි.ඉදිරියේදී මේ ක්‍රමවේදයට තවත් නව අංග එක් වෙමින් ඉදිරියට වැඩකටයුතු රැසක් සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා.කුමන දේ කළත් එය ප්‍රේක්ෂකයාට රසවිඳින්න හැකි අර්ථවත් දෙයක් කිරීම තමයි අපේ අරමුණ.

අශෝක හඳගම මෙම ක්‍රමවේදයෙන් චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා.

ඔව් මම හිතන්නේ ඒක හොඳ කටයුත්තක්.ආරම්භය කොතැනද කියන එකට වඩා මේ ක්‍රමයෙන් අලුත් නිර්මාණ විශේෂයෙන් ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවන නිර්මාණ බිහිවීම  සතුටට කරුණක්.නිර්මාණකරුවන් ලෙස අප සියලුදෙනා එකම කුලකයක උත්සහ කරන්නේ හොඳ නිර්මාණය බිහිකරන්න.ඒ බලාපොරොත්තුව ඉටුවෙනවානම් එය සමස්ත නිර්මාණකරුවන්ලෙස අප ලබන ජයග්‍රහණයක් .

මේ ක්‍රමය රැල්ලක් වෙලා එක එක කෙනා කිසිම අර්ථයක් නැතිව භාවිත කරයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

මෙහෙමයි.පිහිය කියන්නේ උපකරණයක්.ඒකෙන් පාන් කපන්නත් පුළුවන් ,අඹ කපන්නත් පුළුවන් ,මාලු කපන්නත් පුළුවන් .ඒ වගේම කෙනෙක්ගෙ බෙල්ල කපන්නත් පුළුවන් .හැබැයි ඒකෙන් ගන්න ප්‍රයෝජනය මොකක්ද කියල තීරණය කරන්නේ පිහිය නෙවේ.පිහිය අතේ තියාගෙන ඉන්න කෙනා.ඒ නිසා මේ ක්‍රමය භාවිත කරන ක්‍රමය තීරණය කරන්නේ ෆෝන් එක නෙවේ.නිර්මාණකරුවන්.පිහියෙන් බෙල්ලක් කැපුවොත් වෙන දේ ගැන කියන්න දෙයක් නෑනේ.මෙකත් ඒවගේ තමා.

ඉදිරියට මේ ක්‍රමයට මොනවගේ නිර්මාද බිහිවෙන්නෙ.

ඇත්තටම ඒක මෙහෙමයි කියල කියන්න අමාරුයි.නමුත් අපේ ව්‍යාපෘතිය යටතේ නව නිර්මාණ රැසක් බිහිවේවි.ඒක දිනෙන් දින යාවත්කාලීනව සිදුවන්නක්.

ඔබ රූපවාහිනී කලාවේ ප්‍රවීණ පරිපාලකයෙක්.ඔබ සමාජ මාධ්‍ය එක්ක ගණුදෙනු කරන්නේ රූපවාහිනියට වඩා එය ලාභදායී නිසාද?
නැහැ ලාභය නෙවෙයි.රූපවාහිනියට වඩා මෙවැනි නව නිර්මාණ සම්ප්‍රදායේ වැඩ සමාජ මාධ්‍ය වෙත ගෙන ඒම පහසුයි වගේම කාලෝචිතයි.ඔබම හිතන්න දැන් ඔබ සියල්ල බලන්නේ නරඹන්නේ ජංගම දුරකථනයෙන්.සමාජ මාධ්‍යයෙන්.ඔබට යමක් කීමට සමීප කරවීමට හොඳම ක්‍රමය සමාජ මාධ්‍ය.ඒ නිසාම අපේ නිර්මාණ දෙකම දවස් කිහිපයකින් මිලියන ගණනක් නැරඹුවා.ඒ තුළම ප්‍රශ්නයට පිළිතුර තිබෙනවා.රූපවාහිනියෙන් ඉවත්වන සියලුදෙනා අද ඉන්නේ සමාජ මාධ්‍ය එක්ක.ඒක තමා යථාර්ථය.

හරි අවසානයේ කියන්න කොහොමද ඔබේ ක්ශේත්‍රයේ අයගේ ප්‍රතිචාර
ඇත්තෙන්ම හොඳයි.මොකද මේ නිර්මාණ පිටිපස ක්ශේත්‍රයේ බොහෝදෙනා ඉන්නවා.මේකෙන් කාටවත් හාණියක් නැහැ.අපි අලුත් පාරක් කැපුවා.ඒකේ ඕනෑම කෙනෙකුට නිදහසේ යන්න පුළුවන්.මේ ක්‍රමය භාවිත කරල ඕනෑම අයෙකුට හොඳ නිර්මාණ එළිදක්වන්නත් ඒවා ඉසිම ප්‍රමාදයකින් තොරව ජනගත කරන්නටත් පුළුවන්.මොකද මේ නිර්මාණ සමාජගත කරන්න පෝළිමේ ඉන්නවත්,වෙලාව එනකල් ඉන්නවත් ඕන නෑ.තමන් නිර්මාණය කළා නිදහස් කළා.ඒ නිසා මේකට නව අංග එක් කරමින් සාර්ථකව ඉදිරියට ගෙනයාම තමා අපේ බලාපොරොත්තුව.