පූර්ණ නිදහස දිනූ ස්වාධීන රාජ්‍යයක “ජනරජ දිනය”

වසර සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය එමගින් නැවතත් මෙරටට හිමිවූ ඉතිහාසයේ වැදගත් ම සන්ධිස්ථානයක් වන දිනය, එනම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ 1972 මැයි 22 දින, ශ්‍රී ලංකාවේ ජනරජ දිනය වෙනවා.

1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරුණා. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ කිරුළ දරන්නා විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගින්.

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ගෙනගිය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙරට ජාතික වීරයන් මෙහෙයවූ නොනිමි අරගල හමුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අවස්ථා කිහිපයකදීම සිදුකෙරුණ ද ජාතික නායකයින් අපේක්ෂා කළ අරමුණු ඒවායින් ඉටු නොවූයෙන් මව්බිමට නිදහස පතා ජාතික නිදහස් සටන් තවදුරටත් දියත් වුණා.

මෙම නිදහස් සටන්වල සහ ඒවායේ පුරෝගාමී ජාතික විරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් 1948 පෙබරවාරි 4 වන දින, ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස හිමිවුණා. ජාතියේ පියා ලෙස හඳුන්වනු ලබන මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී චරිතයක් වුණා.

කෙසේ වුව ද, 1948 දී මෙරටට හිමිවූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වන අතර තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රාණ්ඩුකාරවරයා යි. එසේම, මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආයතනයන්ට ය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු, පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුව ද නීතිගත වූවේ නැත. විශේෂයෙන් ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේ දී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහු ය. එසේම, ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.

මෙසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ග්‍රහනයේ පැවති ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි. ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය සහ එතුමිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගින්. එය සමස්ත රටම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් වුණා. එමගින් වසර සියයකට වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි වුණා.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සිහිපත් කරමින් 1972 වසරට පසු වසරවල දී, මැයි මස 22 වන දින “ජනරජ දිනය” දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. රාජ්‍ය අනුග්‍රහය ලද සැමරුමක්  ලෙස ඉමහත් උත්සවශ්‍රීයෙන් සමරණ ලද මෙම දිනය, කාලයත් සමග බොහෝදෙනෙකුට අමතකව ගොස් තිබෙනවා. මෑටත කාලයක් වනතුරු මැයි 22 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබුණා.

සෑම වසරකම සේම මේ වසරේත් සියලු රජයේ නිලධාරින්ට “ජනරජ දිනය” සමරමින් ජාතික කොඩිය ඔසවා උත්සවයක් පවත්වන ලෙසත්, එහිදී 

  • 1972 ජනරජ ව්‍යවස්ථා කෙටුම්පත ජාතික රාජ්‍ය සභාව විසින් සකස් කිරීමට දායකත්වය දැක්වූ නායකයින් ඇගයීම, 
  • මෙම ව්‍යවස්ථාවත් සමග අප බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වෛරී නිදහස් රාජ්‍යක් බවට පත්වීම, 
  • ජනතාවට වගකියන ජනරජයක් බවට පත්වීම සහ රටට ගැලපෙන පරිපාලනමය සහ ආර්ථිකමය වෙනස්කම් සිදු කිරීමට බලය ලැබීම

 යන කරුණුවල වැදගත්කම පිළිබඳ ආයතනේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසත් දැනුම් දී ඇත. 

ඒ කෙසේ නමුත්, ජනරජ දිනය යෙදෙන මැයි 22 දිනය, රට පුර පැතිර යන කොවිඩ්-19 වසංගතය වළක්වා ගැනීමේ අරමුණින් සංචරණය සීමා කරන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ජනරාශි එක් රැස් කිරීම ඇතුළ සියලු උත්සව සඳහා වාරණ පනවා ඇති මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිදු වෙනවා.

මේ වනවිට, 1978 දී සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව හරහා නිර්මාණය වූ දේශපාලන පොරපිටියෙන් ජයගන්නා විවිධ දේශපාලන නායකත්වයන් යටතේ, මෙරට විවිධ පරිපාලනමය සහ ආර්ථිකමය වෙනස්කම් සිදුවෙමින් පවතිනවා.