මඩවලින් ගොඩ යන්න පුළුවන් ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි දින කිහිපයේදී මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ දියත් කිරීමේ සැලසුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි එම පක්ෂයේ නියෝජිතයින් ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය 08 වැනිදා පැවති මාධ්‍ය හමු කිහිපයකදීය.

එක් මාධ්‍ය හමුනකදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ සැලසුම් පිළිබඳ පැහැදිලි කළේය.දින කිහිපයක ඇවෑමෙන් එම හෙළිදරව්ව සත්‍ය බවට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කෙරෙන අත් පත්‍රිකා බෙදීමේ චෝදනා මත ඊයේ මිරිහානේදී කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ලේකම්වරයා ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට පත්විය.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද ලබා දුන් නියෝගයකට අනුව ඔවුන් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන පිරිසක් දෙහිඕවිට මාගම්මන, එළුවාන ප්‍රදේශයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයේ අත්පත්‍රිකා බෙදමින් සිටින බවට රුවන්වැල්ල පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

ඒ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින්ය.

පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර එහිදී හෙළි වූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ලේකම්වරයෙකු ද ඒ අතර වන බවයි.

ඔහු හෙළි කළ තොරතුරු අනුව ජයම්පති වික්‍රමරත්න මහතාගේ මාගම්මන ප්‍රෙද්ශයේ සම්බන්ධීකරණ කාර්යාලයේ තිබී අපහාසාත්මක අත්පත්‍රිකා තොගයක් පොලිස් භාරයට ගැනුණි.

මේ අතර ඊයේ මිරිහානේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කෙරෙන අත් පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් ,කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුළු දෙදෙනා ඊයේ ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන්ට ඇප හිමි වූ අතර, එම තීන්දුවට එරෙහිව කෝට්ටේ නගරාධිපති නීතීඥ මධුර විතානගේ මහතාගේ නීතීඥයින් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූවේය.

කරුණු සලකා බැලූ අධිකරණය, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ලේකම්වරයා ඇතුළු දෙදෙනා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අද රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ මීට දින දෙකකට පමණ පෙර කැබ් රථයකින් ගංගොඩවිල සමාධි විහාරස්ථානයට පැමිණි පුද්ගලයෙකු සජිත් ප්‍රේමදාස මහතාගේ අත්පත්‍රිකා සමග ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අත් පත්‍රිකා බෙදා හැරි බවට චෝදනා කරමින්ය.

එම පත්‍රිකා බෙදූ පුද්ගලයා ගැන සැක සිතී විහාරස්ථානයේ රියදුරු ඔහු ලුහුබැඳ ඇති අතර එහිදී එම පුද්ගලයා පවසා ඇත්තේ තමා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙකු බවයි.

මේ අතර සුදු වෑන් රියදුරකුද ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ප්‍රහාරයක් දියත් කිරීමට යොදාගෙන තිබේ.ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නේ සුදු වෑන් වලින් ගෙන ගොස් මිනිසුන් මරා දැමීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේ පරාජය හමුවේ වියරු වැටී ඇති රාජිත ඇතුළු නඩය සහරාන්ට යළි පණදී හෝ තමනගේ අරමුණ කරා යාමට උත්සහ කරන බවයි.
මේ අතර මෙම මඩ ප්‍රහාරවලත පිළිතුරක් සැපයූ ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ බුද්ධිමත් ජනතාව මඩ ප්‍රහාර සඳහා කදිම පිළිතුරක් ලබාදෙන බව තමාට විශ්වාස බවකි.
කෙසේවෙතත් පටු දේශපානික අරමුණු සහ ජයග්‍රහණය වෙනුවෙන් මඩ ප්‍රචාර දියත් කිරීම නින්දාසහගත ක්‍රියාවලියකි.එය බුද්ධිමත් ජනතාව හරි හැටි තේරුම්ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.මඩවලින් ගොඩයනවා වෙනුවට වැඩවලින් ජයගැනීම මෙරට අනාගත නායකයාගේ බලාපොරොත්තුව විය යුතුය.අපට ඉන්න හිතෙන රටක් නිර්මාණය වන්නේ එවිටය.