සංශෝධිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

පසුගියදා පාර්ලිමේන්තුවේදී තෙවෙනි වර කියවා 2/3 පාර්ලිමේන්තු ඡන්දයෙන් අනුමත කළ, සංශෝධන සහිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැයි මස 27 වනදා පෙරවරුවේ අත්සන් තබා ඇති බව වාර්තා වෙනවා.

කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින්, කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස සිදු කළ බව වාර්තා කළා. මේ අනුව, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මැයි මස 27 වනදා සිට බලාත්මක වනු ඇති.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර අනතුරුව, ඊට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා. එම පෙත්සම් විභාගය, අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු අතර එහි තීන්දුව කථානායකවරයා වෙත යොමු කෙරුණා.

පසුගිය මැයි 18 වනදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී ඔහු කියා සිටියේ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බවත් නොඑසේ නම් පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවයි.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර අදාළ සංශෝධන සහිතව එම පනත් කෙටුම්පත මැයි මස 20 වනදා සම්මත වුණා. අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පනත සඳහා රජය වෙනුවෙන් නව සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා මෙරටට සිදුවිය හැකි ධනාත්මක සහ ඍණාත්මක කරුණු පිළිබඳ විවිධ අදහස් මේ දිනවල මාධ්‍ය මගින් සාකඡාවට බඳුන් වෙනවා.