ගුරු-විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අමාත්‍ය අනුකමිටු යෝජනාවට විසඳුම්?

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අගෝස්තු 30 වනදා ලබාදීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා

මීට අදාළ අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරුණ බව වාර්තා වුණා.

අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල එකඟතාවද පළ වී ඇති බව වාර්තා වෙනවා.

වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර පසුගිය දා පැවැති සාකච්ඡවේ දී සාධනීය තත්ත්වයක් ඇති වු බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

විසඳුම් ඉදිරිපත් වු වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත්ව සිටිම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වී නැවත එම කටයුතු සඳහා යොමු වන බව ඔවුන් සඳහන් කරනවා.

මේ අතර ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කළ විරෝධතාවලට සහභාගි වු ගුරුවරුවන්ගෙන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පසුගියදා මාධ්‍ය අමතා ප්‍රකාශ කළා. ගුරු වෘත්තියට අදාළ නොවන පුද්ගලයන්ගේ රූප යොදා ගනිමින් සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට යම් පිරිසක් උත්සාහකරන බවද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියා.