විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹීමට පෙර අවසන් වසරේ සිසුන්ට මුලින්ම කොවිඩ් එන්නත

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිය අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 25,000කට මුලින් ම කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

මේ ආකාරයට සරසවි පද්ධතියේ අවසන් වසර සිසුන්ට එන්නත ලබාදීමෙන් පසුව සරසවිවල අධ්‍යයන කටයුතු ආරම්භ කර ඉන්පසුව පියවරෙන් පියවර තුන්වන, දෙවන හා පළමු වසර සිසුන්ට ද එන්නත ලබාදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැලසුම් කරමින් සිටින බව ද අමරතුංග මහතා සඳහන් කරනවා.

මේ වනවිට මෙරට රෝහල්වල සායනික අධ්‍යයන සඳහා සහභාගි වන වෛද්‍ය පීඨ එකොළහක අධ්‍යාපනය ලබන තුන්වන වසරෙන් ඉහළ සියලු වෛද්‍ය සිසුන්ට එන්නත ලබාදී අවසන් බව ද මහාචාර්යවරයා පවසනවා.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 160,000ක් පමණ වන බවත් එයින් 42,000ක් ම පළමු වසර සිසුන් බවත් මහාචාර්ය අමරතුංග මහතා තවදුරටත් සඳහන් කරනවා.

එමෙන් ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට මේ වනවිට එන්නත ලබාදී අවසන් බව ද මහාචාර්ය අමරතුංග මහතා වැඩිදුරටත් පවසනවා.

මේ වන විර රජය විසින් පනවා ඇති කොවිඩ්-19 ව්‍යාප්ත වීම වැලැක්වීමේ රෙගුලාසි යටතේ සියලු විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සඳහා විවෘත කිරීම අතහිටුවා තිබෙනවා. නමුත් මාර්ගත ක්‍රමවේද යටතේ විශ්වවිද්‍යාල බොහොමයක පාඨමාලා පැවත්වාගෙන යන බව වාර්තා වෙනවා.