ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කැබිනට් මණ්ඩල තීන්දුව එළැඹෙන සතියේ

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කැබිනට් මණ්ඩල තීන්දුව එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව දැනුම්දෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැයකට ආසන්න කාලයක් මේ සම්බන්ධව සාකච්ජා කෙරුණු බවත් තවත් ආයතන රාශියකම නිරීක්ෂණ ලබාගැනීමට නියමිතව ඇති නිසා එහි ඉතිරි කොටස එළැඹෙන සතියේදී සාකච්ජාවට ගැනීමට කල් තැබූ බවත් අමාත්‍යවරයා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාවේ තීරණය ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

“විමල් වීරවංශ, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකු දින 6කට අධික කාලයක් ඉතාම වෙහෙසකර අභ්‍යාසයක් කළා. අපි ඒ අනුකමිටුවේ වගකීම භාර ගත්තේ හුදු දේශපාලනඥයන් විදිහට නෙවේ. දේශපාලනඥයන්ගේ භූමිකාව ඉක්මවා යන පීතෘත්වයේ භූමිකාවත් භාර අරගෙන කටයුතු කළා. කොවිඩ් වසංගතයෙන් බරපතළ ඔත්පළ වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනයට සහ දරුවන්ටයි. ඒ අය ගැන අපි ඉතා උනන්දුවෙන් හොයලා බලන්න ඕනෑ. මුදල් ඇමැතිවරයාට මේ අනුකමිටු වාර්තාව භාරදුන්නේ සිකුරාදා හවස. මුදල් අමාත්‍යාංශයේ හා අනෙකුත් ආයතනවලත් නිරීක්ෂණ අරගෙන නිසැකවම ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව ගැන ගන්න තීන්දුව රටට දැනුම් දෙනවා” යැයිද අමාත්‍යවරයා පැවසුවා.