සාවද්‍ය පුවත් මගින් සිදුකරන නොමග යැවීම්වලට හසුවන්න එපා, පාසල් යළි ආරම්භයට තවමත් සැලසුමක් නෑ

පසුගිය වසරේ මැද භාගයේ මාධ්‍ය මගින් විකාශය වූ නිවේදනයක් නැවත මතු කරමින්, අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන නිවේදන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අදාළ සමාජ මාධ්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් ඒ මහතාගෙන් කළ විමසීමකදී.

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වලක්වා ගැනීමට සෞඛ්‍ය අංශවල උපදෙස් මත වසාදමා ඇති පාසල් යළි ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර, ජනතාව නොමග යවන මෙවැනි සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටිනවා.