පාසල් විවෘත කිරීමට පෙර විශේෂ පෙරහුරුවක්

පාසල් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් පාසල් විවෘත කිරීමට පෙර පැවැත්වීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.

පාසලේ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් ගුරුවරුන් සහ මවුපියන් එකතුවී පැවැත්වීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.

පාසල් ආරම්භ කිරීමෙන් පසුව රෝගීන් වාර්තා වීම අවම කර ගැනීමට නම්, සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපැදිය යුතු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, දරුවන් පාසල් යෑමට නිවෙසින් පිට වූ අවස්ථාවේ සිට නැවත නිවෙසට පැමිණෙන තෙක් කළ යුතු ක්‍රියාදාමය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් දැන් සිටම සකස් කළ යුතු බව ද සඳහන් කළා.

පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන්ට හැකි තරම් නැවත නැවතත් පාවිච්චි කළ හැකි මුව ආවරණ ලබාදිය යුතු බව ද හෙතෙම පැවැසුවා.

දරුවන් නිවෙසින් පිටත්වූ අවස්ථාවේ සිට නිවෙසට නැවතත් පැමිණෙන තෙක් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කර එය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පෙරහුරුවක් පැවැත්වීම වැදගත් බවත් එලෙස නිසි ආකාරයට කටයුතු කළහොත් පාසල් නැවත වැසීමෙන් තොරව දිගටම පවත්වාගෙන යා හැකි වනු ඇති බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළා.
සිසුන් පාසල් පරිශ්‍රයේදී නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, දරුවන් විවේක කාලයේදී සහ ආපනශාලාවේ හා ක්‍රීඩාංගණයේ සිටින විට දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බව ද ප්‍රකාශ කළා.

මේ අතර, පාසල් දරුවන් සඳහා ප්‍රමිතියකින් යුතු මුව ආවරණයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය කෙරෙන පතරොම් දැනටමත් හඳුන්වාදී ඇති බවත් ඔහු පැවසුවා.
පාසල් ආරම්භයට පෙර ප්‍රවාහනය සම්බන්ධයෙන් ද ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.