රජය ඉන්ධන මිල සංශෝධනයකට සැරසෙයි?

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂකයින් පෙනවා දෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් පිරිසක් සමග අග්‍රාමාත්‍යවරයා මැයි 23 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම පෙන්වාදීම සිදුකළ බව, එම සාකච්ඡාවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරනවා.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල, සමහර ඉන්ධන නිපදවන සමාගම් ඇති රටවල ඉන්ධන මිලට වඩා අඩු බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන් බවත් රටේ ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මිල සංශෝධනයක් අවශ්‍ය බව ඔවුන් අවධාරණය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා.

මෙම සාකච්ඡාවට මූලික වූ, ඉන්ධන මිල ඇතුළු අනෙකුත් ආර්ථිකයට සම්බන්ධ කරුණු පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර මහ බැංකුවේ ඉල්ලීම පිළිබඳ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන බව ද අමාත්‍යවරයා පවසනවා.

කෙසේ නමුත්, රජය ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර තිබෙනවාද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් මේ වනවිටත් ලබාදී නැහැ.

ඉන්ධන අශ්‍රිත නිෂ්පාදනයක් වන, ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙන්ම කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ගෑස් මිල වැඩි කිරීම සඳහා කිහිපවරක්ම ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් උත්සහ කළ අතර ඒ සදහා රජයේ අවසරය හිමි වූයේ නැහැ. පසුගිය කාලය තුළ ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ගණන් අවස්ථා කීපයකදීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණු අතර විනිමය අනුපාතය, වෙනත් පිරිවැය වැනි කරුණු හේතුවෙන් තම සමාගම් ගෑස් අලෙවියෙන් විශාල වශයෙන් පාඩු ලබමින් සිටින බව එම සමාගම් රජයට පෙන්වා දී තිබුණා.