පුහුණුව ලබන උපාධිධාරීන් මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියාවලට

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බවට කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මෙම උපාධිධාරීන්ගේ පුහුණු කාලය තව මාස හයකින් දිගුකිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් වූ බව කී ඇමතිවරයා එසේ කිරීම සාධාරණ නැති බව එහිදී ජනාධිපතිවරයා පැවසූ බව ද පවසනවා.

එම උපාධිධාරීන් කඩිනමින් රැකියා සඳහා යොමුකිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට පැවරූ බවද ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.