සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළේ සත්භාවයෙන්

පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබු සහල් මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළේ, සත්භාවයෙන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩලය හා රජය එම තීරණය ගනු ලැබුවේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මුලික පරමාර්ථය ඇතිව බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත්, එම නිදහස භාවිත කරමින් යම් පාර්ශ්වයක් සහල් මිල වැඩිකිරීමට කටයුතු කරනවා නම්, රජය හා පාරිභෝගික අධිකාරිය වගකීමෙන් යුතුව ඒ සඳහා මැදිහත් වන බව ද රාජ්‍ය අමාත්‍යවරා පැවසුවා.

ඒ අනුව, සහල් මෝල් හිමියන්ගේ සංගමය අද දින ප්‍රකාශ කර තිබෙන සහල් මිල ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අද (28) දින අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විටත් ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ මුලික කටයුතු සිදුකර අවසන් බව පැවසු ඒ මහතා, ජනතාවට සාධාරණ මිලකට එම සහල් ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බව ද සඳහන් කළා.