සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි තොගය රජයේ බාරයට

බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා පවසනවා.

මින් සීනි ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට බෙදා හැරි බවද ඒ මහතා සඳහන් කරනවා.

එම ආයතනවලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බව පවසන නිවුන්හැල්ල මහතා රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයිද පවසනවා.

ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක මෙලෙස ආහාර තොග සැඟවීම බරපතළ වරදක් බවත් එසේ ආහාර සඟවන්නන්ට තමාගෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් නිවුන්හැල්ල මහතා තව දුරටත් ප්‍රකාශ කරනවා.

මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සිදුව ,කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහක තිබියදී බව වාර්තා වෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තබනු ලැබුවා.

මෙම ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයිද එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේ යැයිද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූවා.

සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබුවා.