රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර ඇරඹේ

මෙරට ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව, සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළා. ඒ, කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු නව තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මැදුරේ සිට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය විවෘත කිරීමත් සමගින්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ වැලිපැන්න අන්තර් හුවමාරු අතර ප්‍රදේශයකින් සම්බන්ධවන යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය, ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදි කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා.

ඉදිකිරීම් අවසන් වනවිට, රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 73.9ක් පමණ වනවා. 2014 දී වර්ෂයේ දී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෝජනා වූ මෙම ව්‍යාපෘතිය, පසුගිය රජය සමයේ පසුබෑමකට ලක්ව තිබුණා. නව රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සිදුවන සංවර්ධන සැලැස්මේ තවත් ව්‍යාපෘතියක් ලෙස මෙය සඳහන් වෙනවා.

අදියර තුනක් යටතේ ඉදිකිරීමට නියමිතය මෙම රුවන්පුර අධිවේගී මාර්ග සැලසුම් අනුව, එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24.3 ක දුර ප්‍රමාණයක ඉදිකිරීම් සිදු කරනු ලබනවා. දේශීය සමාගමක් වන මාගා ඉංජිනේරු සමාගම මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන අතර මේ සඳහා රුපියල් බිලියන 54.70 වක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

පසුගිය සමයේ ඇනහිට තිබූ තවත් ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද මේ මොහොතේ කඩිනමින් සිදුවන අතර මීරිගම සිට පොතුහැර දක්වා කොටස ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට රජය බලාපොරොත්ටුවෙනවා.