සාප්පු සංකීර්ණ විවෘතව තැබිය හැකි ලෙස පොදු ක්‍රියාකාරකම් රෙගුලාසි නැවත සංශෝධනයට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් අගෝස්තු 18 වනදා නිකුත් කළ, අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, වරකට සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකි සාප්පු සංකීර්ණ විවෘතව තැබිය හැකි බව, සෞඛ්‍ය සේවා අධ්‍යයක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා .

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආයතන තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. වෙළඳ ආයතන එයට තදින් ම අනුගත විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.
මීට පෙර මෙය සඳහන් ව තිබුණ ආකාරයට, අගෝස්තු 18 සිට සාප්පු සංකිර්ණ වසා තැබිය යුතු වූ අතර සාප්පු සංකීර්ණ තුළ / පිටත පුද්ගලයින් රැස්වීම හා විනෝදාස්වාදයන්ට අවසර තිබුණේ නැහැ.

මේ අතර, දිවයින පුරා ප්‍රධාන නගර රැසක වෙළෙඳ සංගම් සිය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවා ස්වේච්ඡාවෙන්ම අගුළු පනවා ගැනීමට තීරණය කර තිබෙනවා. මේ අනුව, රට පුරා නගර 50 කට ආසන්න සංඛ්‍යාවක් සහ පිටකොටුවේ වෙළඳ වීදි කිහිපයක් ද මේ වන විට ස්වයං-හුදෙකලා වීමේ ක්‍රියාමාර්ගවලට යොමුවෙමින් සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවා කඩසාප්පු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.