සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මත්පැන්, වයින් සහ බියර් අලෙවිසල් විවෘත කිරීමට අවසර

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මසකට ආසන්න කාලයක් බල පැවැත්වූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද ජුනි 21දා සිට විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මේ සම්බන්ධයෙන් සියලූම සහකාර සුරාබදු කොමසාරිස්වරුන්, සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇති සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලූ වෙළෙඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

ඒ අනුව, වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22ඈ බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී විවෘත කිරීමට අවකාශ ලබාදී තිබෙනවා.

ආරක්ෂක පියවරක් ලෙස වසා මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට කටයුතු කිරීමේ වගකීම අදාළ සුරාබදු කොමසාරිස්වරුන්ට පැවරෙන බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

සෙසු බලපත්‍රලත් ස්ථාන, එනම් එම ස්ථානයෙහිම හිද මත්පැන් පානය කිරීම සඳහා වූ ආපනශාලා, හෝටල්, ආගන්තුක නිවාස, තානායම්, සිනමා ශාලා හා සමාජ ශාලා ආදිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ පසුව දැනුම්දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒ අනුව එම ස්ථාන තව දුරටත් වසා තැබෙනවා.

මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළා. මේ අතර ඔන්ලයින් ක්‍රම යටතේ මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන තිබූ තීරණය රජය විසින් වහාම අත්හිටවනු ලැබුවා.

කෙසේ වුවද විවෘත කිරීම සඳහා අවසර දී ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන ආශ්‍රිත පාරිභෝගික තදබදය වළක්වා ගැනීමේ අරමුණින් එම පුද්ගලයින් අතර පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවට වග බලා ගත යුතු වෙනවා.