මේ මොහොතේ ‘දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට’ තෙල් මිල ඉහළ නැං වූ බව කීම අවිචාරවත් තර්කයක්

මේ දරුණු ව්‍යසනකාරී මොහොතේ ‘දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට’ තෙල් මිල ඉහළ නැං වූ බවට ආණ්ඩුව අවිචාරවත් තර්කයක් ගෙනැවිත් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතාවට විහිළු සපයමින් සිටී. තෙල් මිල වැඩි කිරීම පිළිබඳව පොහොට්ටුවේ ලේකම් විසින් අතිශයින් ම විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට පැය කිහිපයක් යනවිට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊට නොදෙවනි විහිළු සහගත නිවේදනයක් නිකුත්කොට තිබේ. එකී නිවේදනය ප්‍රකාරව දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට රටේ ආර්ථිකය පරිවර්තනය කරගැනීමට රජය ගත් තීරණයකට අනුව තෙල් මිල ඉහළ නංවා තිබේ.

දේශීය නිෂ්පාදනවලට දිරිදෙන බව පවසමින් පොහොර තහනම් කළ ආණ්ඩුව කාබනික පොහොර පිටරටින් ආනයනය කිරීමට යයි. දේශීය පොල්තෙල් රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් තිබියදී පොල්තෙල් ආනයනයට බදු සහන දෙයි. මෙරට ගොවීන්ගේ වී අස්වැන්න ලැබෙන විටම පිටරටින් සහල් ආනයනය කරයි.

එහෙව් ආණ්ඩුව තෙල් මිල ඉහළ නංවමින් දේශීය නිෂ්පාදනවලට දිරිදෙන බව පැවැසීම තරම් හාස්‍යයක් තවත් තිබේ ද?

මෙය මහ දවල් සිදුකළ මංකොල්ලයකි. ජනතාව පටි තදකරගෙන දුක් විඳිද්දී ඒ ගැන නොතකා සැප වාහන ගෙන්වීමට ණයවර නිකුත් කළ ආණ්ඩුව තෙල් මිල ද ඉහළ නංවා සිය සාපරාධී ස්වරූපය මනාව ඔප්පු කර තිබේ.

දේශීය ආර්ථිකය නැංවීමට නම් ඛනිජ තෙල් සඳහා දේශීය විකල්ප ඇති කළ යුතුය. එසේ කිරීමට පෙර මිල ඉහළ දැමීමෙන් දේශීය නිෂ්පාදන තවදුරටත් අඩාල වීම සිදුවේ. රසායනික පොහොර තහනම් කොට ආණ්ඩුව ගොවි ජනතාව දුරදිග නොබලා කබලෙන් ළිපට දැමූ අතර දේශීය නිෂ්පාදනවලට විකල්පයක් ඇති නොකර තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත රටම වළපල්ලට දමා ඇත.

2020 වසරේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැසඳීමේදී අවම තරමින් ඩීසල් ලීටරය රු. 104 සිට රු. 91.92 දක්වාත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු. 137 සිට රු. 124.30 දක්වාත් භූමිතෙල් ලීටරය රු. 70 සිට 58.80 දක්වාත් අඩු කොට ජනතාවට සහනයක් ලබාදීමේ හැකියාව අප ඒ දිනවල දිගින් දිගටම අවධාරණය කළද ආණ්ඩුව එම ඉල්ලීම අවඥාවෙන් බැහැර කළ අතර ඇතැම් ඇමැතිවරුන් කීවේ තෙල් මිල අඩු නොකරන්නේ ජනතාව රස්තියාදුවේ යන නිසා යැයි කීය. තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් ආරම්භකොට තෙල් මිල අඩුවීමේ මුදල් ඊට යොමුකරන බවත් තෙල් මිල වැඩි වූ විට ඒ අරමුදල යොදාගෙන ජනතාවට වාසිය සලසන බවත් 2020 මාර්තු 19දා ඇමති බන්දුල ගුණවර්ධන පැවසීය.

මිනිස් ජීවිත සමග මෙතරම් විහිළු කරන පාලනයක් මෙරට ඉතිහාසයේවත් තිබී නැත. අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ තෙල් මිල ඉහළ දැමීමට ගත් තීන්දුව නොවළහා හකුළාගන්නා ලෙසත් ජනතාව පෙළීමට ගත් තීරණය ආපසු හරවාගන්නා ලෙසත්ය.