පිටකොටුවේ ව්‍යාපාරික වීදි ඇතුළු තවත් නගර රැසක් ස්වයං-හුදෙකලාභාවයට

රට තුළ කොවිඩ්-19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්, මේ වනවිට නගර 50 කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාපාරික ප්‍රජාව ස්වයං-හුදෙකලා වීමේ ක්‍රියාමාර්ගවලට යොමුවෙමින් සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවා කඩසාප්පු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 15 වැනිදා සිට දිවයින පුරා ප්‍රධාන නගර රැසක වෙළෙඳ සංගම් මේ බව තීරණය කර තිබෙනවා.

අගෝස්තු 16 දිනයේ තවත් නගර 11ක වෙළෙඳ සංගම් ද එම තීරණයට එළැඹුණ අතර ඒ අනුව, අගෝස්තු 17 දා වන විට, වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබුණු නගර සංඛ්‍යාව 29 වුණා. ඊට සමගාමීව, පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන කයිසර් වීදියේ ද වෙළෙඳ කටයුතු අත්හිටුවනු ලැබුවා.

මෙම තත්ත්වය අගෝස්තු 18 පස්වරුව වන විට තවදුරටත් වර්ධනය වූ අතර පිටකොටුවේ රෙදිපිළි හා තෑගි භාණ්ඩ තොග වෙළෙඳාමට ප්‍රසිද්ධ දෙවන හරස් විදිය ද දින කීපයකට වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කළා. මීට අමතරව, අගෝස්තු 19 පෙරවරුව වන විට, දිවයින පුරා වසා දමා ඇති සමස්ත නගර සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

ඒ අනුව, අගෝස්තු 19 දිනයේ පොල්ගහවෙල තවලම, හොරණ, සියඹලාණ්ඩුව, තඹුත්තේගම, කඹුරුපිටිය, හැටන්, අකුරැස්ස, මීගමුව, කොච්චිකඩේ, වැලිගම, ඇඹිලිපිටිය, බිබිල, හාලිඇළ, අනුරාධපුරය, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, දඹුල්ල, වරකාපොළ හා මැදගම යන නගරවල වෙළඳසැල් වසා දැමීමට තීරණය කෙරුණා. ඒ අනුව, මේ වනවිට කඩසාප්පු වසා දමා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට තීරණය කර ඇති නගර සංඛ්‍යාව 43 ක් බව වාර්තා වෙනවා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන්, එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළෙඳසල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළෙඳ සංගමය පවසනවා.

සමහර ප්‍රදේශවල වෙළඳසැල් සතියකටත්, සමහර ප්‍රදේශවලට සති දෙකකටත්, අනෙක් ඒවා නැවත දැනුම් දෙන තුරුත්, ඇතැම් නගරවල දින කිහිපයක් දක්වාත් මෙලෙස වසා දමා ඇති බව සඳහන් වෙනවා.