ගෙවුණු 24 පැයේ කටුනායක ගුවන් තොටුපළ ගුවන් මගීන් 1,664 කට පහසුකම් සලසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජුනි මස 03 වනදා උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 45 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 1,664 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සැකසූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු ද මෙම කාළසීමාව තුළ සිදු කළ බව ද පැවසෙනවා.

ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 22 කින් ගුවන් මගීන් 989 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණු අතර කාළසීමාව තුළ ගුවන් යානා 23 කින් ගුවන් මගීන් 675 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම කාළසීමාව තුළ මෙරටට පැමිණි ගුවන් මගීන් පිරිස අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට 168 දෙනෙකු ද , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට 109 දෙනෙකු ද , සවුදි අරාබියාවේ දමාම් සිට 105 දෙනෙකු ද සිටි බව වාර්තා වෙනවා. එමෙන්ම රටවල් 08 කින් විදේශිකයින් 73 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔවුන් අතර ද්විත්ව පුරවැසිභාවය හිමි ගුවන් මගීන් 25 දෙනෙකු ද, චීනයේ සිට 33 දෙනෙකු ද, ස්විට්සර්ලන්තයේ සිට 07 දෙනෙකු ද සිටි බව වාර්තා වෙනවා.

මෙම කාළසීමාව තුළ මෙරටින් පිටව ගිය ගුවන් මගීන් පිරිස අතර පාකිස්තානයේ ලාහෝර් වෙත 129 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 137 දෙනෙකු ද සිටි බව වාර්තා වෙනවා.

මේ අතර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් භාණ්ඩ රැගෙන පැමිණ තිබූ අතර, තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් භාණ්ඩ රැගෙන විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම මෙම කාළසීමාව තුළ මත්තල ගුවන් තොටුපළ තුළ කිසිදු ගුවන් යානා මෙහෙයුම් කටයුත්තක් සිදු නොවූ බව ද වාර්තා වෙනවා.