මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගැනීමට උපදෙස්

මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් හා වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 06 දා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන් වෙනවා.

අතරමැදියන් වී රැස් කිරීම හේතුවෙන් සහල් මිල පාලනය කිරීමට නොහැකි බවට මහා පරිමාණ වී මෝල් හිමියන් මීට පෙර ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලියාපදිංචි නොකළ ගබඩා තුළ තිබූ වී මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් සොයා ගෙන අත්‍යවශ්‍ය සේවා ​කොමසාරිස්වරයා යටතට පත් කර තිබෙනවා. එම වී තොග සහල් බවට පත් කරන ලෙස ආණ්ඩුව මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් කළ ඉල්ලීමක්ද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා..

මේ අනුව මෙම සතියේදී මහා පරිමාණ වී මෝල් හිමියන් සතු වී ගබඩා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත්කර කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදී සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. වෙළෙඳපොළේ සුදු හා රතු කැකුළු මෙන්ම නාඩු සහල් තිබුණ ද සම්බා හා කීරි සම්බා සහල් නොමැති බවද අනාවරණය වෙනවා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් හතර දෙනා සැප්තැම්බර් 06 දිනයේදී වෙළෙඳපොළට නිකුත් කර ඇත්තේ සහල් කිලෝග්‍රෑම් 326,270 ක් පමණක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය අනාවරණය කරනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම සහල් මෝල් හතර මගින් ලබාගත් තොරතුරුවලට අනුව ගබඩාවල වී කිලෝග්‍රෑම් මිලියන 136 ක් ඇති බවද අනාවරණය වී තිබෙනවා. කීරි සම්බා, සම්බා කැකුළු, සම්බා, රතු කැකුළු, රතු නාඩු, සුදු කැකුළු හා නාඩු සහල් අවම වශයෙන් මෙම වී මෝල්වලින් වෙළෙඳපොළට නිකුත් කර තිබෙන බව සඳහන් වෙනවා.