බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08 ක නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත වැඩ පැටවීමේ වෑයම හෙළාදකින බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08 ක නායකයින් විසින් සඳහන් කරනවා.

මෙවන් කට්ටිවාදී හා අපරිනත ක්‍රියා හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.

මාධ්‍ය නිවේදනයයි

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති ඇමතිගේ කර මත පැටවීමේ වෑයම හෙළා දැකීම

වර්තමානයේදී ලොව සෙසු රටවල් සේම අප රට ද මුහුණ පා ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ පොදුවේ මහජනතාව තම ආදායම් මාර්ග අහිමි වූ හෝ අවම වූ ඉරණමකට ඇද වැටී සිටිති. එමෙන්ම රජයේ ආදායම් මාර්ග ද බොහෝ සේ බිද වැටී තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම එබඳු අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා සිටින මෙබඳු අවස්ථාවක දී ඇතැම් “ජනප්‍රිය නොවන” තීරණ ගැනීමට කවර ආණ්ඩුවකට වුව ද සිදුවිය හැක. මේ අවස්ථාවෙිදි තෙල් මිල වැඩි කිරීමේ තීරණය ද එවැනි “ජනප්‍රිය නොවන” තීරණයක් බව අපගේ නිගමනයි. එබඳු තීරණයකින් පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන්ට සහන සැපයීම අත්‍යවශ්‍ය යැයි ද අපි අවධාරණය කරමු. ඒ සඳහා සුදුසු ක්‍රමවේද ඇතුළත් යෝජනාවලියක් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරියේදී ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු.

මෙම ඉන්ධන මිල ඉහළ නැංවීමේ “ජනප්‍රිය නොවන” තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කරමත පැටවීමට දරන වෑයම අපි ප්‍රතික්ෂේප කරමු. ඊට හේතු වන්නේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් රැස්වුණු ජීවන වියදම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් වීමයි.

පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මේ බව තහවුරු කර තිබිණි. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා “ජනප්‍රිය නොවන” තීරණයේ වගකීම උදය ගම්මන්පිල ඇමතිතුමා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විසින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගත් තීරණය අභියෝගයට ලක් කිරීමෙන් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව තුළ ඉදිරියේ තබා ඇත.

මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ වගකීම බව ද අවධාරණය කරමු.

අතුරලියේ රතන හිමි – අපේ ජන බල පක්ෂය
විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ
වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
තිස්ස විතාරණ – ලංකා සම සමාජ පක්ෂය
ඒ.එල්.එම්. අතාවුල්ලා – ජාතික කොංග්‍රසය
ජී. වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
ටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂය
අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය