ඛනිජ තෙල් සංස්ථාවේ අලාභය අවම කර ගැනීමට ඉන්ධන මිල ඉහලට

ඉන්ධන මිල ජුනි 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබෙනවා.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද , සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද අළෙවි කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දී මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටි බවත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බවත් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා සඳහන් කර තිබුණා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම නොතිබුණු බව ද ඒ මහත සඳහන් කර තිබුණා.

එසේම වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් වීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙන බව ද ඒ මහත සඳහන් කර තිබුණා.

ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැයවන බවත්, පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවත් ගම්මන්පිල මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.