මත්තල සිට නව ගමනාන්ත රැසකට ගුවන් ගමන්

පවතින කොවිඩ් 19 වසංගත තත්වය යටතේ වුවද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉතිහාසයේ වැඩිම ගුවන් මගී මෙහෙයුම් මේ වන විට සිදු කර ඇතැයි, ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා. මීට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ ද විශාල වර්ධනයන් පෙන්නුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කරනවා.

මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට මේ වන විට පත්ව තිබෙනවා. කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස ද ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් රාශියක් මත්තල සමග සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා. මේ වන විට ගුවන් සමාගම් හතරක් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබෙන අතර අබුඩාබි -මත්තල ගුවන් මෙහෙයුම් ඉදිරි සති කීපය තුළ දී ආරම්භ කරන බව ද ප්‍රකාශ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය චානක මහතා පවසනවා.

මෙම අදහස් පල වූයේ ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා, මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලිමට පැමිණි අවස්ථාවේදී.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල සිට නව ගුවන් ගමනාන්තයන් රැසක් ආරම්භ කරන බව ද පැවසුවා. ඒ අතරට මත්තල – මාලේ සහ මත්තල – කසකස්ථාන් ඉක්මනින්ම ආරම්භ වන බව හෙතෙම සදහන් කළා. මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කරගනිමින් ගුවන් යානා නඩත්තු ඒකකයක් ඇතිකිරීමට කැමැත්ත පල කළ ජාත්‍යන්තර සමාගමක් සමග සාකච්ඡා, අවසාන අදියරේ පවතින බව ද වාර්තා වනවා.

මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ විශාල වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා. එසේ ම, ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදන විදේශ වෙළද පොළ වෙත ප්‍රවාහනය කිරීම ද මත්තල මගින් අපේක්ෂා කෙරෙනවා.