සංචරණ සීමා කාලය තුළ ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා

මැයි මස 21 දා රාත්‍රී 11.00 න් පසු ක්‍රියාත්මක වන සංචරණ සීමා කාලය තුළ, අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගනු ලැබු වැදගත් තීරණ කිහිපයක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කිරීමට හැකි වෙනවා.

බේකරි නිෂ්පාදන බෙදාහැරීමට අවසර හිමි වෙනවා. මේ සඳහා බේකරි විවෘතව තැබෙන අතර ජංගම රථ මගින් බෙදාහැරීමට අවසර ලැබෙනවා.

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන මැයි මස 24 සහ 25 දිනවල විවෘතව තැබෙන අතර එළවළු, පලතුරු ආදිය ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට සහ රැගෙන යාමට පැමිණෙන පිරිස් වෙත බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැහැ.

ජංගම රථ මගින් භාණ්ඩ, එළවළු, පලතුරු ආදිය අලෙවි කිරීම සඳහා, බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව අවසර හිමි වෙනවා. ඇණවුම් මත පිසූ ආහාර පාන බෙදාහැරීමේ සේවය පවත්වාගෙන යාමට ආපන ශාලාවලට ද අවසර හිමිවෙනවා.

මේ අතර, තොග වශයෙන් එළවළු පලතුරු අලෙවි කරන දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන පමණක් මැයි 24 සහ 25 දිනවල දී ද මැයි 27 සහ 28 දිනවල දී ද විවෘතව පවතින බව බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

සංචරණ සීමා ලිහිල් වන මැයි මස 25 වන දින, ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව ඔත්තේ සංඛ්‍යාවක් ඇති අයට සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව සඳහන් වෙනවා.

දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ අනුව, මැයි මස 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 27 වන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව සඳහන් වෙනවා.

මැයි මස 21 රාත්‍රී 11.00 සිට මුළු දිවයිනට ම ක්‍රියාත්මක වන පරිදි පනවනු ලබන සංචරණ සීමා, 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන අතර නැවතත් මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා.