දැඩි සෞඛ්‍ය කොන්දේසි මත වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත විවෘතවේ.

පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 48 දෙනකු හඳුනා ගැනීමත් සමග වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අප්‍රේල් මස 25 වනදා වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, දැඩි සෞඛ්‍ය කොන්දේසි මත අද (මැයි 05 වන දා) නැවත විවෘත කිරීමට තීරණය කර ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුව ද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට පසුගිය 27 වනදා දැනුම් දී තිබිණි. ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් පැවසූ අමාත්‍යවරයා, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙස ද දැනුම් දී තිබිණි.

නමුත්, ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමග එහි පැමිණෙන එළවළු පලතුරු ගොවීන් ගොවීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටි බව වාර්තා විය. ඔවුන් නිරෝධායන නීති උල්ලංගණය කරමින් දඹුල්ල, ගලේවෙල සහ කැකිරාව ආදී ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආසන්නයේ තැන තැන එළවළු අලෙවි කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබිණි.

මේ තත්ත්වයන් සලකාබැලූ රජය, දැඩි කොන්දේසි මාලාවක් ඔස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සහ ජනතාවට අවැසි එළවළු ලබා ගැනීම සඳහා අද අලුයම විවෘත කරනු ලැබීය. ආර්ථික මධ්‍යස්ථානයට අළුයම් කාලයේ එළවළු ගොවීන් විසින් තම අස්වැන්න රැගෙන විත් තිබුණු බවත් දැඩි සෞඛ්‍ය නීති යටතේ මෙම පිරිස් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට පියවර ගත් බවත් වාර්තා විය.

නමුත් දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක් ගතවීමටත් මත්තෙන් සෞඛ්‍යය නීති කඩකළ වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය විසින් පියවර ගනු ලැබූ බවට වාර්තාවී ඇත.

ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකළ හැකි මෙවන් මර්මස්ථාන වෙත, කොවිඩ් හරහා ඇතිවිය හැකි බලපෑම අවම කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති කොවිඩ් මර්දන රෙගුලාසිවලට අවනතව ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙස, සෞඛ්‍ය අංශ සහ දඹුල්ල නගර සභාව, සියලු වගකිවයුතු ජනතාවගෙන් ඉල්ලා සිටී.