කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 91කින් සම්මතයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර හා තුන්වන වර කියවීමේ විවාදය අවසානයේ, එය, පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 91කින් සම්මත වුණා. එහිදී ඊට පක්ෂව ඡන්ද 149ක් සහ විපක්ෂව ඡන්ද 58ක් හිමිවුණා. මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය විමසීම, ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේ සිදුවුණා.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි. ආණ්ඩු පක්ෂයේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වුණේ නැහැ.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය කරන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු කෙටුම්පතට පක්ෂ වූ අතර එම කණ්ඩායම නියෝජනය කරන එම්.මුෂාරෆ් මන්ත්‍රීවරයා කෙටුම්පතට විරුද්ධ වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ සිටියේ නැහැ.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී මැයි 20 වනදා පෙරවරුවේ නිහඬ විරෝධතාවයක පැවැත්වුණා. මෙම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සිවිල් සංවිධාන නියෝජිතයන්, නීතීඥවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර අනතුරුව ඊට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා. එම පෙත්සම් විභාගය, අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු අතර එහි තීන්දුව කථානායකවරයා වෙත යොමු කෙරුණා.

පසුගිය මැයි 18 වනදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී ඔහු කියා සිටියේ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බවත් නොඑසේ නම් පාර්ලිමේන්තු තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවයි.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර අදාළ සංශෝධන සහිතව එම පනත් කෙටුම්පත අද සම්මත වුණා. අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පනත සඳහා රජය වෙනුවෙන් නව සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කළා. සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ සංශෝධන කිහිපයක් ඡන්ද විමසීමකින් ප්‍රතික්ෂේප වුණා.

වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ප්‍රකාශ කළා. කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් පැවසුවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ලෙස, රජයට සම්බන්ධ මැති ඇමතිවරු අදහස් පලකරනවා.