ඖෂධ වර්ග 60ක මිල 9% කින් වැඩිවීම ක්‍රියාත්මක කෙරේ

ඖෂධ මිල 9% කින් නොව 21%කින් ඉහළ දැමිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල 9%කින් වැඩි කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2020 මාර්තු 8 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිවීම මෙලෙස ලබාදුන් බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඒ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 198ක් වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 215ක් දක්වා වැඩි වී ඇති බව සංගමයේ සභාපති සංජීව විජේසේකර කියා සිටිනවා. මේ නිසා 9%ක මිල වැඩිවීම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහස් කරනවා.

කෙසේ වෙතත් ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස මිල වැඩිකළ බව ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරනවා. එහිදි ඔහු අදහස් කරන්නේ යම්හෙයකින් මිල ගැටලුව මුල්කරගෙන ඖෂධ ආනයනය ඇනහිටීම නිසා ඖෂධ හිඟයක් රට තුළ ඇතිවිය හැකි බවයි.

වේදනා නාශක, දියවැඩියා, හෘද රෝග, හතිය, සෙම් රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග 60ක මිල මෙලෙස වැඩිකර තිබෙනවා. ඖෂධීය නාමයෙන් ඖෂධ වර්ග 60ක් වුවද විවිධ සන්නාම යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 450ක පමණ මිල මෙලෙස වැඩි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙනවා. හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කළා.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1.71 ක් වන අතර මීට පෙර මිල රුපියල් 1.50ක් වුනා. දියවැඩියා රෝගීන් භාවිත කරන ඉන්සියුලින් රුපියල් 748 සිට 1,496 දක්වා පරාසය යටතේ මිල වැඩි වී තිබෙනවා.

රුපියල් 3,000 සිට රුපියල් 15,000 දක්වා මිල පරාසය යටතේ මෙතෙක් අලෙවි කළ අක්ෂි කාච වර්ග 38ක් නව ගැසට් නිවේදනයට අනුව රුපියල් 3,815 සිට රුපියල් 21,200 දක්වා වූ මිල පරාසයකට යටත් වන පරිදි වැඩිකර තිබෙනවා. රුධිර ග්ලුකෝස් මාපකයක් මෙතෙක් කල් අලෙවි වූයේ රුපියල් 3,150 කට වන අතර නව ගැසට් නිවේදනයට අනුව එහි නව මිල රුපියල් 3,433ක් වෙනවා. රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු කට්ටලද රුපියල් පනහකින් මිල වැඩි වී තිබෙනවා. හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ලෝහමය ස්ටෙන්ට් ඒකක මිල රුපියල් 29,920 දක්වාද, ඖෂධ මුදාහරින ස්ටෙන්ට් ඒකක මිල 130,800 දක්වාද වැඩිකර තිබෙනවා.