12 වන “ජාතික රණවිරු සැමරුම” චාම් සහ අභිමානවත් ලෙස රණවිරු ස්මාරකය අභියසදී

12 වන “ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී, මැයි මස 19 වනදා පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්වුණා.

දශක තුනකට වැඩි කාලයක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට, මැයි මස 19 වනදාට වසර 12ක් සපිරෙනවා. එහිදී යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ 28,0000 වඩා වැඩි පිරිසක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දුන් අතර තවත් රණවිරුවෝ විසිහත් දහසකට අධික ප්‍රමාණයක් ආබාධිත තත්ත්වයට පත්වුණා.

මේ වන විට, ලොව පුරා පැතිරෙන කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට මෙරට නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව රණවිරුවන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළකරමින් රණවිරු සැමරුම අභිමානවත්ව සිදු කළ බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස, මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක් පල කළ අතර ශ්‍රී ලංකා රණවිරු අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව පවත්වනු ලැබුවා.

යුද හමුදා ගෞරවාචාර මැද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් පුෂ්පෝපහාර දැක්වූවා.

මේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ, රණවිරු ස්මාරකයට මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළා.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය