වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත්කර ගැනේ.

තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අධිකරණයට දැනුම් දුන්නා..

අදාළ පැහැරගැනීම් 2008 වසරේදී වාර්තා වී ඇති අතර එහිදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට එම නඩුව ගොනුකර තිබුණා.

තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය එම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම, අද, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ, අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව, මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා, එය, නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.