පිළියන්දල පොලිස් වසම යළි හුදකලා කිරීමට අවශ්‍ය දැයි තීරණයට තාක්ෂණික කමිටුවක්

ආන්දෝලනයකට ලක්වී ඇති පිළියන්දල පොලිස් වසම යළි හුදකලා කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීම සඳහා, අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් අද එම ප්‍රදේශයට පිටත් කර යැවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

පහුගිය මැයි 02දා පෙරවරුවේ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පිළියන්දල පොලිස් බල ප්‍රදේශය සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර, ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කිරීමට හදිසියේම කටයුතු කෙරුණි. මෙම සිදුවීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වු අතර මේ සිදුවීම පිළිබඳ රජයේ විවිධ පුද්ගලයින් ද සිය අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි. 

මෙම හුදෙකලා කිරීම ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ තමන්ගේ නිර්දේශයකින් තොරව බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව සොයා බැලීමට තමන් කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා. මේ පිළිබඳව අදහස් දක්වමින් යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, පිලියන්දල පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ පසුව විවිධ පාර්ශ්ව තමනට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බවත්, හදිසියේ ගත් මෙම තීරණය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු අඩපණ වී ඔවුන් අපහසුතාවයට පත්වන බව ඔවුන් ප්‍රකාශ කළ බවත් ය. 

මේ අතර, එම තීරණයට මැදිහත්වූ බවට චෝදනා එල්ලවු කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා තම අදහස ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා ප්‍රකාශ කර තිබුනා. එහි සඳහන් වූයේ  මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණිකවම සංචරණය සීමාකොට හුදකලා කිරිම තුළින්, ජන ජිවිතයට විශාල බලපෑමක් සිදුවු බවත්, දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුළ ක්ෂණිකව සිදුකළ මෙම හුදකලා කිරීම ගැටලුවක් බවත් ය. තවද, සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ්-19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වී සිටින ප්‍රදේශ, තව දුරටත් එම හුදකලා තත්ත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යාප්ත වී ඇති ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් තමාගෙන් කරන ලද ඉල්ලීම සලකා බලා එයට අවශ්‍ය විසඳුමක් ලබා දීමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බවත් එහි සඳහන්ය.

අද දින එම ප්‍රදේශයට පිටත්කර හරින ලද සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ තාක්ෂණික කමිටුවේ නිර්දේශ සලකා බලා, සෞඛ්‍ය බලධාරීන් විසින්, එම ප්‍රදේශය තුළ වසංගතය පැතිර යාම පාලනය කිරීමට සුදුසු ක්‍රියාමර්ගයකට එලඹෙනු ඇතැයි විශ්වාස කෙරේ. රට තුළ කොවිඩ් 19 පැතිර යාම වැලැක්වීමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් සෑම විටම සිය ඉලක්ක සපුරා ගැනීමට ජනතා සහය අපේක්ෂා කෙරේ. එබැවින්, එම සහයෝගය ඔවුනට ලබාදී දරුණු ව්‍යසනයකින් ශ්‍රී ලංකාව බේරා ගැනීම, පුරවැසියන් ලෙස අප සතු වගකීමකි.