ජනපතිගේ මැදිහත්වීමේන් සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරණ ලද බවට වන ප්‍රකාශය WHO ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

මෙරට ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත්තේ, එන්නත් ලයිස්තුගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව, මේ සඳහා මාස දෙක තුනක කාලයක් ගතවන බවය.

සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බවත් ඒ සඳහා යම් කාල පරාසයක් ගත වන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල අනුව මෙම එන්නත අනුමත කරන ලද බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මැයි 10 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනය තහවුරු කරගැනීම සඳහා පුවත්පත විසින් ඊමේල් මගින් සිදුකරන ලද විමසීමකදී ඔවුන් මෙම ප්‍රතිචාර දැක්වීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.

හදිසි අවස්ථාවක භාවිතයට මෙම සියලුම එන්නත් සඳහා අවසර දී ඇත්තේ එම රටවල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට යටත්ව නොවන බව ද ඔවුන් තවදුරටත් සඳහන් කර තිබෙන බව එම පුවත් පත වාර්තා කරනවා.